Skip to main content
නිදහස් අධ්‍යාපනය
උඹ ඉපදෙනකොට උබට හරියට කන්න ටික දෙන්නවත් උබලගෙ ගෙදර උන්ට පුලුවන්කමක් තිබුනෙ නෑ. උඹේ බරත් අඩුයි. උඹට මාසයක් ගානෙ ත්‍රිපෝෂ පැකට් දෙකක් දුන්නෙ ඒ හින්ද. උඹට වයස හතර පනිනකම්ම උඹලගෙ අම්ම කිරි ටික දුන්නෙ ගෙදර වත්තෙන් ගලවගත්තු අල බතල ටිකට සමෘධි කූපනේට සමූපකාරෙන් ගෙනාපු කරෝල කෑල්ලක් හොදි හදල කාල. එහෙම කරල උඹට පහ පිරෙනකොට උඹලගෙ අප්පච්චි උඹව ගමේ ස්කොලෙට දැම්ම. දෙයියන්ගෙ පිහිටෙන් ඒ දවස්වල උඹට හොදට ඉගෙනගන්න පුලුවන්. අවුරුද්ද මුලම හම්බුන සුදු රෙදි කෑල්ලෙන් ලස්සන කමිසයක් මහල ඉස්කොලෙන් දුන්න අලුත්ම පොත්ටිකත් පංමල්ලට දාගෙන උඹ අප්පච්චිගෙ අතේ එල්ලිල ඉස්කොලෙට ගියෙ චන්ඩිය වගේ. මාස දෙක යනකොට උඹේ සුදු ඇඳුම් සේරම කන පාට වෙලා ගිහින්. අලුත්ම පොත්ටික ලබන අවුරුද්දෙ තව එකෙකුට පාවිච්චි කරන්න බැරි තරමටම ජරා වෙලා ගිහින්. උඹ පිලිවෙලකට ඉස්කොලෙ එන්නෙ නෑ, පොත් ටික පරිස්සම් කරන්නෙ නෑ කියල පන්තියෙ ටීචර් දවස් දෙක තුනක්ම උඹට කෝටුපාර දුන්න උබට මතකද මංද? උඹලගෙ අම්මටත් ඒ දවස්වල උඹ ගැන හොයන්න බලන්න වෙලාවක් තිබුනේ නෑ වැඩිය. උඹේ තනියට උඹට තව නංගියෙක් ගේන්න අම්ම මග බලන් හිටියේ. උඹ පහවසරට යනකම්ම පන්තියෙ පලවෙනිය. උඹ ශිෂ්‍යත්ව විභාගෙ පාස් උනේ උඹේ දක්ශතාවෙන් විතරක්ම නෙමෙයි. පහවසරේ ටීචර් උඹල සේරටම හවස් වෙනකම්ම ඉගැන්නුවෙ උඹලගෙන් එකෙක් හරි ගොඩදාන්න ඕනෙ හින්ද. කොට්ඨාසෙන් වගේම, පලාත් කාර්යාලෙනුත් පෙරහුරු ප්‍රශ්ණ පත්‍ර ගොඩක් එවල තිබුන. ඒ ඔක්කොමගෙ පිහිටෙන් උඹ ලකුණු 178ක් ම අරන් තිබුන.
උඹ කොළඹ ලොකු ඉස්කොලෙට ගියේ හය වසරට. උඹ දුර ඉදන් ආපු නිසා උඹට ඉස්කොලෙ හොස්ටල් හම්බවුනා. අලුතින්ම හදපු හොස්ටල් එක. ගෙදරදි පන් පැදුරෙ නිදාගත්තු උඹට ජිවිතේ පලවෙනි වතාවට හොද මෙට්ටෙක නිදාගන්න හම්බුනේ එදා. පොඩ්ඩක් රස්නෙයි තමයි. ඒත් බිත්තියෙ පැත්තක හයි කරල තිබුනු රූන් පෙත්තෙන් ආපු හුලග හින්ද උඹට ඒ රස්නෙ එච්චරම දැනුනෙ නෑ. උඹට විභාගෙ පාස් උනාට පස්සෙ හැම මාසෙම රුපියල් 500ක් හම්බුණා. ඒකෙන් කරන්න පුලුවන් මගුලක් නැති උනාට උඹ වගේම තව 25,000ක් විතර පොඩි උන්ට පොතක් දෙකක් ගන්න ඒක උදව් උනා. උබලගෙ අප්පච්චිට ඉදල හිටල කුලියක් කරල අම්මවයි නංගිවයි බලාගන්නවත් පුලුවන්කමක් තිබුනෙ නැති හින්ද උඹට කොළඹ නෝන කෙනෙක් උදවු කලා. ඒ නෝනට උඹව පෙන්නුවෙ ඉස්කොලෙ ලොකු සර්. ගමේ කාටත් සතුටුයි. කාටත් ඕනෙ උනේ උඹ ලොකු මහත්තයෙක් වෙලා ඇවිත් ගමේ උන්ට උදව් කරනව බලන්න. කාලය ගෙවිල ගියේ විදුලි වේගෙන්. උඹ ඉස්කොලෙ අටේ ඉන්නකොට උඹට ඩෙංගු හැදුන. උඹට හොදටම අමාරු වුනා. ICU හිටිය සති තුනක් විතර. වියදම ගැන හිතන්නෙ නැතුව ඩොක්ටර්ස්ල උඹව හොදට බලාගත්ත. දෙයියන්ගෙ පිහිටෙන් උඹට හොද වුනා. ටවුමෙ ස්කොලෙදි, ගමේ ස්කොලෙට වඩා උඹට හැමදේම හම්බුණා. ඉස්කොලෙට අලුත් කොම්පියුටර් ලැබ් එකක් ලැබුනෙ ලං වෙනකොට උඹ හත වසරෙ ඉන්නකොට. ජීවිතේටවත් කොම්පියුටරයක් තියා ටීවී එකක්වත් අතගාල නැති උඹට කොම්පියුටර් ඉගෙනගන්න ලැබුනෙ පෙර වාසනාවකට වෙන්න ඇති. අලුත් විද්‍යාගාර, ක්‍රීඩා පහසුකම්, පිහිණුම් තටාකෙ උඹේ ජීවිතෙ ගොඩක් ලස්සන කලා. හොදට සාමාන්‍ය පෙල පාස් උන උඹ උසස්පෙලට තොරගත්තෙ ගණිත අංශය. එතනින් පළවෙනි වතාවෙම උඹ කැම්පස් ගියා. කැම්පස් ගියාම උඹට මහපොල හම්බුනා මාසෙට 5,000/= ගානෙ. අවුරුදු හතරක්ම ඉන්න හොස්ටල් හම්බුනා. ඉස්කොලෙ ප්‍රින්සිපල් වගේ නෙමෙයි උපකුලති තුමා අවුරුදද ගානේ උඹෙන් පහසුකම් ගාස්තු කියලවත් රුපියලක්වත් ගත්තෙ නෑ. ෆස්ට් ඉයර් එකෙන් පස්සෙ උඹ වෙනද වගේ නිදහස් අධ්‍යාපනය රකින්න උද්ගොසන වලට ගියේ නෑ. පුලුවන්තරම් මගෑරල ඉන්න බැලුවෙ. කලාතුරකින් වගේ කලා උලෙළට එහෙම පොඩි සප් එකක් දුන්න මිසක්, අනිත් හැම වෙලේම උඹ උඹේ වැඩ. ගෙදර ගියේ කලාතුරකින්. උඹේ ජීවිතේ ටික ටික කොළඹට හුරු වුනා. කොළඹ ගෙවල් කිහිපයකම පොඩි උන්ටිකකට ටියුෂන් දීපු උඹ සෙකන්ඩ් ඉයර් එකේදි බයික් එකක් ගත්ත. ඊට පස්සෙ ගමේ ඉන්නකොට කිලොමීටර් තුනක් විතර උදේ හවස පයින්ම ස්කෝලෙට ගියපු උඹට හොස්ටල් එකෙන් එලියට එන්න බයික් එක නැතුව බැරි වුනා. ගෙදර ඉන්නකොට දෙවේලක් කාපු උඹට, කැන්ටිමෙන් කන්න එපා වුනා. කැම්පස් අවුට් වෙන්න ලංවෙලා උඹට කොළඹින් කෙල්ලෙක් සෙට් වෙනකොට උඹේ යාලුවො ගොඩක් උඹට ඉරිසියා කලා. කැම්පස් අවුට් වෙනකොට උඹට ආණ්ඩුවෙ කන්තොරුවක ලොකු රස්සාවක් හම්බුනා. කෙල්ල රස්සාවකට නොගියෙ තාත්තගෙ බිස්න්ස් බලාගන්න ඕනෙ හින්ද වෙන්න ඇති. කැම්පස් අවුට් වෙලා අවුරුද්දක් යන්නත් කලින් උඹ ඒ කෙල්ලව බැන්ද. වෙඩිම ගත්තෙ කොළඹ ලොකු හෝටලෙක. උඹලගෙ ගමෙනුත් 25ක්, 30ක් ඇවිත් හිටිය වෙඩිමට. උඹලගෙ අම්මට තාත්තට වගේම ගමේ උන්ටත් හැදි ගෑරුප්පු වලින් කාල පුරුද්දක් තිබුනෙ නෑ. ගමේ උන් ටික වෙඩිමට ආපු විදියට උඹේ නම කැත වුනා කියල උඹට ටිකක් විතර අප්සට්. බැදල උඹ කෙල්ලගෙ ගෙදර පදිංචියට ගියා.ඔෆිස් එකට විනාඩි 20ක් දුර. හයවසරට කොළඹ ස්කොලෙට ඇවිත් , සිකුරාද හවසට තාත්ත එක්ක පැය පහක් විතර බස් එකේ ගිහින් යන්තමට රෑ 9.00 බස් එක අල්ලගෙන ගෙදර ගියපු උඹට, ට්‍රැෆික් එකේ ඒ විනාඩි විස්ස යන එක හෙන වදයක් වුනා. ඒ කාලෙ 9.00 බස් එක අල්ලගන්න බැරි උනාම උඹ ගෙදර ගියේ කිලෝමීටර් හයක්ම කෑලි තුනේ ටෝච් එකෙ එලියෙන් පයින්ම ගිහින්. කලාතුරකින් දවසකට ටවුමෙ මෝලට වී පටවන් ගිය අත්ටැක්ටරයක් සෙට් වුනා. තුන්වේල හරියට නොකාපු උඹ KFC එකේ චිකන්, පීස විතරක් කන්න පුරුදු වුනා. ඔෆිස් එකෙන් වැඩක් කරගන්න ගමෙන් එන උනව උඹ ගනන්ගත්තෙවත් නෑ. කොටින්ම උඹ රස්සාව කලෙත් ඔනෙවට එපාවට. බිස්නස් කාරයෝ කිහිපදෙනෙකුටම උඹේ අත්සන විකුණුවෙ ලක්ෂගානකට. එතකොට උඹ ෆස්ට් ඉයර් එකේදී කතාකරපු සමාජවාදය උඹට මතක් වුනේ නෑ. ඒ සල්ලිවලින් උඹ තව කාර් එකක් ගත්ත. ඒක ගෙනාවෙ ටැක්ස් නැතුව. උඹට රට එපාවෙන්න වැඩි දවසක් ගියේ නෑ. කෙල්ලත් නිතරම කීවෙ ඇමරිකාවට යමු කියල. උඹල PR ලැබිල ඇමරිකාවට ගියේ ආයෙ එන්න නෙමෙයි. උඹ මාව දාල ගියට කමක් නෑ. කැමතිනම් ආයේ දවසක වරෙන්. සල්ලි මිටියක් අරගෙන නෙමෙයි. මනුස්සකම මිටක් අරගෙන. උඹට අවුරුදු 13ක් ස්කොලෙ යන්න වියදම් කලේ මම නෙමෙයි. මේ රටේ මිනිස්සු. පෙට්‍රල් බෝතලෙ, පරිප්පු කිලෝව තව රුපියලක් හරි අඩුවට රටේ මිනිස්සුන්ට දෙන්න තියෙද්දි ඒවට බදු ගහල එකතු කරපු සල්ලි වලින් ගොඩක් වියදම්කලා උඹට උගන්වන්න. උඹව උස් මහත් කරන්න. උඹට ඒව ගැන කෙලෙහිගුණයක් තිබුනෙ නෑ. උඹේ ගමේ එවුන් බලන් හිටියේ උඹ ගමේ දිසාපති කන්තොරුවෙ ලොකු මහත්තය වෙලා ඇවිත් ගමේ එවුන්ට උදව් කරන්නකම්. රටේ උන් බලන් හිටියේ උඹ වගේ ඉගෙනගත්තු උන් මේ රටට නායකත්වය දෙනකම්. ඒත් උඹව ඔතනට ගෙනාපු උන්ව උඹට අමතක වුනා. උඹ හිතුවෙ උඹ ගැන විතරමයි. ඔව් ඇත්ත උඹට ඕනි හැමදේම ඒ විදිහටම තිබුණෙ නෑ තවමයි. පාරවල් වල ටිකක් ට්‍රැෆික්. පාරවල් වල කුනු ගොඩවල්. සමහර තැන්වලින් යනකොට කුනු ගද එනව. පාරවල් වල පෝස්ටර් ගහල කැත කරල. කන්තොරුවකට වැඩක් කරගන්න ගියාම දවසම ඉවරයි. ඒත් ඒ හැමදේටම මටත් දුකයි.ඒව වෙනස් කරන්න තමයි මේ රටේ මිනිස්සු දුක් මහන්සිවෙලා උඹව හැදුවේ. ඉගැන්නුවෙ. උඹලගෙ අම්ම අප්පච්චි විතරක් නෙමේ, මේ රටේ හැම එකාම උඹ වෙනුවෙන් ගොඩක් වියදම් කලා. බලාපොරොත්තු තියන් හිටිය.උඹට නොතේරුනාට මම ගොඩක් අසරණ වුනා. කමක් නැහැ. ආයෙ වරෙන්. උඹට මල් මාල දාල පිලිගන්න ලෑස්ති. අපිට ගොඩ යන්න උඹව ඕනේ. උඹ ආයෙ එනකන් තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි.
Comments
Post a Comment